Veggie

නාසා ආයතනයට අභ්‍යවකාශයේ බෝග වගා කිරීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් හිමියි. 1982 දී නාසා ආයතනය මගින් අභ්‍යවකාශයේ බෝග වගා කිරීමට, ප්‍රථම පර්යේෂණය දියත් කෙරුණු අතර එතැන් සිට මේ දක්වා ඒ පිළිබඳ බොහෝ ව්‍යාපෘති සිදුකෙරී ඇත.


Veggie_1

2014 වසරේදී "Veggie" නමැති එළවළු නිෂ්පාදන පද්ධතිය (vegetable production system) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධයස්ථානය (ISS) වෙත යවනු ලැබුවා. එය අභ්‍යවකාශ ගෙවත්තක් ලෙස සැලකිය හැකි අතර මෙම පද්ධතිය මගින් LED ආලෝකය යටතේ (සූර්යාලෝකය හා පෘථිවි ගුරුත්වය අහිමි තත්ත්වය තුළ) ගෙවතු බෝග වර්ගවල වර්ධනය අධයනය කෙරේ. "Veggie" ගෙවත්තේ සාමාන්‍යයෙන් බෝග හයක් එකවර පැළ කර තැබිය හැක. එක් එක් බෝගය වර්ධනය වන්නේ මැටි මත පදනම් වූ වර්ධක මාධයයක් සහ පොහොර වලින් සමන්විත කුඩා වර්ධක බෑගවල යි. මෙම කුඩා වර්ධක බෑග ඉංග්‍රීසි භාෂාවෙන් "pillows" ලෙස හැදින්වෙන්නේ, ඒවා ඉතා කුඩා පුළුන් කොට්ටවල ස්වාභාවය ගන්නා නිසාවෙනි.

මෙම පද්ධතියට වඩා දියුණු වර්ධක කුටීරයක් ද අභ්‍යවකාශ මධයස්ථානයේ බෝග පර්යේෂණය සඳහා තිබේ. එය APH (Advanced Plant Habitat) නමින් හැඳින්වේ.


Veggie_2

අද වන විට "Veggie" සලාද කොළ, චීන ගෝවා, සිනියාස්, තක්කාලි වැනි විවිධ පැළ වර්ග සාර්ථකව වගා කර තිබේ. මින් සමහර බෝග, කණ්ඩායම් සාමාජිකයන් විසින් ආහාරයට ගන්නා අතර ඉතිරි සාම්පල විශ්ලේෂණය සඳහා පෘථිවියට එවනු ලැබේ. ඒ අතරින් ආහාරයට අහිතකර තත්ත්වයේ පවතින ඵලදාවක් මේ වන තෙක් හඳුනාගෙන නොමැත.

අභ්‍යවකාශයේ දීර්ඝකාලීන මෙහෙයුම්වල නිරත වන අභ්‍යවකාශගාමීන්ට නැවුම්ව ආහාර සපයා ගැනීමට (විශේෂයෙන්, අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ), ඔවුන්ගේ මානසික සුවය ලබා ගැනීමට, වාතය පිරිසිදු කිරීමට, සඳේ සහ අඟහරු මතුපිට ගෙවතු ඇති කිරීම පිළිබඳ අධයන කටයුතු සඳහා ද "Veggie" ඉතා වැදගත් මෙහෙයක් සිදු කරයි.

Written by Hiruni Saubagya